Saturday, July 29, 2017

යං ප්ලෙයර්ස් නාට්‍ය වැඩමුළුව - ජූලි



යං ප්ලෙයර්ස් නාට්‍ය කණ්ඩායම මඟින් පවත්වනු ලබන මාසික නාට්‍ය වැඩමුළු මාලාවේ ජූලි මසට නියමිත වැඩමුළුව පසුගියදා සාර්ථකව අවසන් වූවා. කොළඹ 07, සුදර්ශි ආයතනයේදී පැවැත්වූ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ සමීර දෙසවන්, චමින්ද පුෂ්පකුමාර හා අනුරාධා පෙරේරා මහත්ම මහත්මීන් විසිනි. වැඩමුළුව සඳහා දිවයිනේ දස දෙසින් පැමිණි ආධුනික ශිල්පීන් සහභාගී වූ අතර ස්වීත්වය සහ රංගනය පිළිබඳ ප්‍රායෝගික දෙසුම් පැවැත්විණ.

වැඩමුළුවේ සියලු ඡායාරූප මෙතනින්

Wednesday, June 14, 2017

අපිට හතරයි


පාරේ නටලා - සල්ලි හොයලා - ස්ටේජ් බුක් කරගෙන - නාට්‍ය පෙන්නලා - ඒ ණය ගෙවන්න ආයෙම පාරට බහින්න වෙච්චි කාලයක් අපිටත් තිබුනා. වේදිකාවට වඩා කාලයක් අපි ඒ කාලේ මහ පාරට ගෙවුවා. පස්සේ කාලේ අපි වේදිකාවට ගොඩ උනේ නැති තරම්. ඒ තරමටම පාරේ ඉඩ කඩ අපිට සෑහුනා. එතනින් එහාට බෙල්ලෙන් අල්ලන් ඇවිත් ප්‍රේක්ෂකාගාරෙට මිනිස්සු පුරවන්න අපිට උවමනා උනේ නෑ. එයාලා අපි ලඟට ආවා. තියෙන කාසියක් කොලයක් අපි දිහාට වීසි කරලා දැම්මා. රවුමෙන් යනකොට යන්නම් මල්ලිලා කියලත් කීවා. හෝල් බුක් කරන්න ඇඩ්වාන්ස් ගෙවන්න එවුවාට සල්ලි හොයලා රෝල ගහන්න පාරෙදි උවමනාවක් නෑ. අපිටයි මිනිස්සුන්ටයි දෙකට බෙදිලා බලන් ඉන්න තරම් ඉඩක් තියෙන තැනක් වෙන් කරගන්න ලඟම කාකි කොට්ටාසය දැනුවත් කලාම හොඳටම ඇති. පිටපත් කරදහි උස්සගෙන එක එක මණ්ඩල ගානේ දුවලා කපලා කොටලා දාගන්න උවමනාවක් උනේ නැත්තේ කටට එන කෑලි බෑලි නියම තැනට නියම විදියට ගලපලා දාලා සනුහරේ පිටින්ම පාරටම ඇදලා දාන්න උනත් වීදියේදි පිළිවන් නිසා. ඉතිං අපි ඒ පාරෙන් අපේ ගමන පටන් ගත්තා. රට වටෙන් අහුල ගත්තු කොල්ලෝ කුරුට්ටෝ එක්කාසු කරගත්තාම ගමන හැඩ වැඩ උනා.
දුමිඳු ගුණවික්‍රම (ගුණේ) - හොරණ
දුලාජ් සාලින්ද (වීරේ) - බෙන්තර
ලක්මාල් මධුසංක (කිත්තා) - නුවර
ශිරෝන් මේනක (පුබ්බා) - ත්‍රිකුණාමලය
සහන් අංජන (සනාජි) - මොණරාගල
චමිත විජේසූරිය (බීඩියා) - රාගම
මෑතකදි ආණ්ඩුවේ පොලිස් මැරයන් විසින් වෙඩි තියලා මරලා දාපු යාපනේ සරසවි සිසුවා සුලක්ෂන් විජය කුමාරුත් අපේ ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙක් උනා.. කාලය ගත වෙනකොට සාමාජිකයින් වැඩි උනා..
කසුන් රජීව
සිසිල දිල්ෂාන්
චානක බංඩාර
රන්දික ටිෂාන්
ඉමිත ජයකොඩි
ලක්ෂාන් මදුසංක
මුදිත දිනේෂ්
විමුක්ති බඳුගොඩ
ලහිරු වික්‍රමසිංහ
ලක්මාල් රණරාජ
කසුන් ලියනගේ
චරිත රත්නායක
කළිදු බිම්සර
සඳුනිකා රත්නායක
පියුමි සන්සලා
දිදුනි මල්ෂා
අනුත්‍රා මධුෂානි
හිරුණි ඩයස්
මේ උදවිය පසුකාලීනව කණ්ඩායමට එකමුතු උනත් දැන් කණ්ඩායමේ ඉදිරිපෙළ සාමාජිකයෝ..  පසුපෙළින් තවත් ආධුනිකයෝ බොහොමයක් අපේ කණ්ඩායමේ ඉන්නවා.. ඒ නම් ගම් කියලා අහවර කරන්න බැරි තරම්... පාරට බැහැලෑ කෑමොර දෙනකොට මේ කොයි කවුරුත් අපේ විලාසිතාවට පරිණත උනා..
හත්තෙට්ටුවගමගෙන් ඇරඹි වීදි නාට්‍ය කලාව ලංකාව තුල විවිධ නිර්මාණකරුවන් අතින් හැදී වැඩුණා.. දේශපාලනික හා සාමාජීය හේතු සාධකයන් වෙනුවෙන් හා වරින් වර විවිධ සාමාජීය අවශ්‍යතා මත සහ කලාත්මක කාර්යයන් වෙනුවෙන්ද වීදි නාට්‍ය කලාව භාවිතා උනා.. මෑතක පටන් වීදියේ නව ප්‍රවණතාවයක් වන්නේ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස වීදි නාට්‍ය කලාව ඍජුව යොදා ගැනීමයි.. ප්‍රචාරණ කාර්යයයේදී සාර්ථක පෙළඹවීමක් ප්‍රේක්ෂකයන් කෙරේ ඇති කිරීමට වීදි නාට්‍ය නිර්මාණයකින් ඇති හැකියාව අති මහත්.. වර්ථමානය වන විට එම ප්‍රවණතාව ජයගන්නට අප කණ්ඩායම දරා ඇති උත්සහයන් ගණන අති සාර්ථකය.. ඒ වෙනුවෙන් රඟන ලද දර්ශනවාර ගණන විශාලය.. මං මාවත් ගණනාවක මගී ජනී ජනයා දස දහස් ගණනක් කුල්මත් කරමින් සේවාදායකයන් වෙනුවෙන් ජනගත කරනු ලැබූ ප්‍රචාරණ කාර්යයන් බොහෝය.. අපගෙන් සහය පැතූ බොහොමයක් සමාගම් ප්‍රධාන පෙළ නියෝජනයන්ය..
මෙතරම් දුරක් අප ආ කාලය වසර ගණනින්නම් කෙටිය.. නමුත් හැල්මට ආ ගමන දිගුය.. අත හිත දුන් සෙවනැලි බොහොමය.. කණ්ඩායම් සුණු විසුණු වන යුගයක මෙතරම් කාලයක් අප එකමුතු වූයේද යන්න අපටම ඇති පැණයකි..
විවිධ නාමයන්ගෙන් අප කණ්ඩායම හඳුන්වා ගත්තද පිරිසක් ලෙස සැලකීමේදී 'යං ප්ලෙයර්ස්' ලෙස නාමකරණය වූ අප වාණිජ ලෝකය තුල SPM (Street plays for Marketing) ලෙස සන්නාමගත වූවා..
පාරේ නටලා කාලා ඇඳලා ඉන්න අපේ ජීවිත ගැන අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්.. විකුණන විකිණෙන ලෝකෙක අපිටම කියලා විකුණ ගන්න පිළිවන් ඉරියවුවක් අපි දැන් නිර්මාණය කරගෙන තියෙනවා.. ඒ තරමටම අපේ හැඩය උපුටා ගන්න කොයි කාටත් නොහැකි වෙලා තියෙනවා.. අපි වෙනින් කවුරුවත් නොවෙන්නේ අන්න ඒ නිසා.. මේ සේරම සිහි කැඳවන්න උනේ අද දවස, මේ ගෙවුණු හවස අපිට විශේෂ නිසා..
අද SPM එකමුතු⁣වේ උපන්දිනයයි..
සිවු වසරක පෙම් ගීතය අප එක්ව ගයමු...!!
ඔබේ ප්‍රචාරණ අවශ්‍යතා වෙනුවෙන් අපිට කතා කරන්න : 0712299809
අපි කල කී දෑ දකින්න අපේ ෆේස්බුක් පිටුව හා එක් වන්න : www.facebook.com/spmsrilanka/

 
X